Wednesday, April 13, 2016

HAPPY NEW YEAR......???

                      
නිත් හැම දේම වගේ අලුත් අවුරුද්දත් වෙළෙදපලකරණය(marketing) වෙලා ඉරවයි. එහෙම කියන්න වැඩිය උදාහරණ අවශ්‍ය නැහැ. එක උදාහරණයක් කියන්නම්, අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඒ කියන්නෙ ආහාර පිසීම, ආහාර අනුභවය, ගණුදෙනු කිරීම, ....... ,අවුරුදු ක්‍රීඩා ඇතුලු මේ සියල්ල ඉස්සර තමන්ගෙ ගෙවල් වල ඉදන් කරපු අය අද ගෙදර ඉදගෙන රූපවාහිනිය ඉස්සරහට වෙලා බලා සතුටු වෙනවා. කලා කරුවන්, ක්‍රීඩකයන් ඇතුලු සෑම ක්ෂේත්‍රයකම ප්‍රවීණයන් (වෙ‍ළෙදපලේ විකිණීමට හැකි) හරි අපූරුවට නව සද බැලීමේ සිට රැකී රක්ෂා සදහා පිටත් වී යෑම දක්වා සියලු දේ  කරලම පෙන්වනවනි. අවුරුදු උත්සවත් කරල අවුරුදු අවසන් වෙද්දි ඊළගට විකිනෙන්න පුලුවන් තැනකට සෙට් වෙනවා. ඒ සියල්ල සංවිධානය කරපු සමගාම් ටිකත් තමන්ගෙ ලාභ වැඩිම ඊළග සංකල්පය (concept) ගැන සෙවීම් (research) කරනවා. ඔවුන් ඒ වෙනුවෙන් මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතා විතරක් නෙවෙයි මානව හැගීම් පවා ලාභය වෙනුවෙන් මිල කරනවා.
අවුරුදු නිවාඩු ඉවර වෙලා බහුතරයක් වෙච්ච වැඩකරන ජනතාව නැවත සුපුරුදු ජීවන රටාවට හුරු වෙනවා. හැබැයි අධ්‍යාපනය, සෞඛ්‍ය මිල කරල මුදලට විකුණන්න පාලකයො කරන උත්සහයට නිවාඩු නැහැ. ඒ වගේම තමයි ඊට එරෙහි කරන සටනටත් කොයි මොහොතකවත් නිවාඩු නැහැ. ඒ සටන නිසා තමයි අවුරුදු දවසෙත් අට්ටාල වල ඉන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට සිද්ද වුනේ. තමන්ගෙ දෙමවුපියෝ, සහෝදර සහෝදරියන් එක්ක එකට එකතු වෙන්න තියෙන අවස්ථාව පවා මේ රටේ පාලකයෝ අහිමි කරල ඉවරයි.
අද ඇත්තටම අලුත් අවුරුදු කියල වෙන්නෙ, අවුරුද්දක් පුරාවට කඹුරල කඹුරල දුක් මහන්සියෙන් හම්බ කරපු සොච්චම් මුදල සමාගම් ටිකකට හරි සූරගෙන කන වෙළෙන්දන්ට හරි පූජා කරන එක. ඇත්තටම වෙන්නෙ ඒක නෙවෙයිද කියල අපි මේ දුවන දිවිල්ල නතර කරල මොහොතක් කල්පනා කරල බැලුවම තේරෙනවා. ඒත් ඒ ඇත්ත යතාර්ථයට  මුහුණ දෙන්න අපි කිසිකෙනෙකුට නොහැකි වෙලා තියනවා. ඒ මොකද අපි එහෙම හිත හිතා ඉන්න ගියොත් පිටු පස්සෙන් එන අනිත් එකා අපිව පහුකරගෙන ඉස්සරහට යනවා. (ඒ යන්නෙ ඉනිමගත් පෙරලගෙන) ඒක නිසා අපි කවුරුත් ඒවා හිත හිතා ඉන්නෙ නහැ. එහෙම යන ගමනෙදි සියලු දෙනාට විකුණන්නයි, විකිණෙන්නයි හැර වෙන කරන්න දෙයක් මේ සමාජ ක්‍රමය ඉතුරු කරල නෑ.
ඒක නිසා තමයි කලා කරුවන්ට, ක්‍රීඩකයින්ට, මාධ්‍ය වේදීන්ට ඉහතින් සදහන් කරපු විදියට සමාගම් වල වුවමනා ඉශ්ඨ කරන්න සිද්දවෙලා තියෙන්නෙ. ඔවුන්ටත් (නො)දැනුවත්වම එහෙම කරන්න වෙලා තියනවා. ඒක නිසා තමයි සමාගම් වල වෙළෙද දැන්වීම් ටිකයි, ඔවුන්ගෙ පූර්ණ අනුග්‍රහයයි එක්ක රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා වලට හොදට විකුණන්න සහ විකිණෙන්න පුලුවන් උදවිය යොදාගෙන අර කලින් කියපු අවුරුදු චාරිත්‍ර/වාරිත්‍ර ක්‍රීඩා ඇතුලු සියලු දේ යොදාගෙන කරන්නෙ. ප්‍රෙක්ෂකයොයි, ශ්‍රාවකයොයි වෙච්ච අපි ජපානෙ නිශ්පාදනය කරපු රොබෝවරු වගේ කිසිම සංවේදනයකින් තොරව ඒ දිහා බලන් ඉන්නවා. උන් සේරම එකතු වෙලා විකුණනවා. අපි (නො)දැනුවත්වම විකිනෙනවා.

රටේ පාලකයො බහුතරයක් වෙච්ච වැඩකරන ජනතාවගේ ශ්‍රමය විතරක් නොවෙයි හැගීම් දැනීම් පවා මිල කරන්න දේශීය, විදේශීය සමාගම් වලට අවශ්‍ය සහයෝගය උපරිම ලබා දෙනවා. ඒකට අවශ්‍ය ප්‍රතිපත්ති පවා සකස් කරන්න, ඔවුන් ආරක්ෂා කරන්න මේ පාලකයෝ ඕන මොහොතක සූදානම්. ඒක නිසා පුරුදු විදියටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල නිකන් ඉන්නෙ නැතිව අපි සියලු දෙනාට ඒ වෙනුවෙන් එකතු වෙන්න සහ සංවිධානය වෙලා සටන් වදින්න වෙනවා..!

Wednesday, May 7, 2014



පුතේ උඹ දන්නවද..............
පුතේ උඹ දන්නවද
එරබදු ගහේ මල්
රතු පාට ඇයි කියල
කොවුලන් ගයන ගී
කාටද කියල

එකෝමත් එක කාලෙක
නෙමෙයි ඒ 71
රජ කුමරුවන් හෙම නෙමෙයි
උන් ගමේ කොල්ලො ටික
චේ ගු ආ කාරයෝ
ඒ උන්ගෙ නම්බුව
ආණ්ඩුවෙ ඉස්කෝලෙන්
අකුරු ටික ඇහිදගත්තු
අප්පච්චිල වගේ
වළව්වට කඹුරන්න
බෑ කිව්ව උන්
පන්සලේ පොඩි නමත්
එක්කලා කසු කුසුව
රතු පාට පොත් නිතර
එහෙ මෙහේ මාරු වෙන
වැහි කෝඩෙ ආව හැටියට
අපි හිතුව වහින බව
ඒත් උන් කිව්වෙ නෑ
දැන් මොකක් වෙන්න යන
ගහ පුරා මල් කැකුළු
වසන්තෙට ඉගි මැරුව
සුවද මකරන්ද
ඉව කරණ සමනළකෝෂ
අළුත් උපතක් පතා
සැරසිලා මග බැලුව
බක් මහේ අකුණකින්
කරටියම කැබලි වී
මහ දවල් රෑ වුණා
ඇස් නිලන්කාරව
අපි ඔහේ බලන් උන්න
මහ දවල් දිවි පුරා
අපි නිදන් ඉන්නැද්දි
පුතේ උන් අරුණටත්
කලියෙන් ඇහැරුණා
වෙනසක සිහිනයෙන්
ඒ දෑස් දැල්වුණා
පැතූ ලොව අභියසදි
අමු සොහොන ඉදිවුණා
නව ලොවක් පැතු වරදට
අනේ උන් වැළලුවා
වඩා යහපත් ලොවක
අධිටනක් සිත දැරුව
උන් වතින් ගලා ගිය
රුධිරයෙන් එරබදු මල්
රතු පැහැය ගැන්වුණා
එදා ඉදන් කොවුලන්
ගී ගයනව බක් මහට
71
පණිවිඩය
තමයි ඔය කියන්නේ
ඒ ගීය උඹලටයි
උන්ට වැරදුණු තැන් හදාගෙන
පුතේ උඹ දන්නවද
නව ලොවක් හෙට දවසෙ
ගොඩනගන්නේ උඹලයි.............

( රිවිහාර පින්නදුව )



විප්ලවවාදියෙකුට වලංගුද
ආත්මාර්ථය පැමිණ
කරවටම යටකර
හිස මුදුනටම පැමිණි කල
විප්ලවාදියෙකුට හැකි වේ නිහඬ වීමට
නිහඬ බවෙහි ගිලෙමින්
මළ මිණියක් ලෙස
තමා කළ දේ
හෘද සාක්ෂියකින් තොරව
විවරණයකට නොපැමිණ
නිහඬව මිය යා හැකිද
අවිචාරවත් බැතිමත්
යථාවාදී තථාකාරී නොවන
ළදරුවන්
පරණ තැටියකින්
යළි උපදවන්නට
ගුණ ගයන
වෙන වයන
අනුගාමික පූජා දෙස
හොරෙන් එබිකම් පාමින්
සතුටු වෙන
කාලකණ්නිකම තරම්
ආත්මාර්ථයක් විප්ලවවාදියෙකුට තිබිය හැකිද
මිනිසුන් සමාජය
අධම යැයි කියමින්
අත්පිස ගන්නට
විප්ලවවාදියෙකුට වලංගුද
රත්තරං පත්ඉරුවලට
නම් ලැබෙන්නට
හිසට කිරුලු මිණි
අහංකාරය පැළඳගන්නට
නිවැරදිම දේ
නිවරදිම මිනිසා කියා
නිහඬ වන්නට
විප්ලවවාදියෙකුට වලංගුද
ගස්නැති කැලෑවල
ගස්වේ එඬරුගස්
මිනිසුන් නොමැති බිම් පළසක
මිනිසෙක්ව කම්මලක තියා
කුළු ගෙඩියෙන් තලන
අලුත් ලේබලයකින්
බෞතිස්ම කරන
අරගල මර්ධන
වෙළෙඳපලට පටවන
පටවා ස්වං වින්දන මිලක් හොයන
මිය ගිය භාණ්ඩයට යළි පණ දෙන
හැටි බලා සතුටුවෙන
කය පණැති
ළය මිය ගියැති
නිහඬ බවින් ලාභ උපයන්න
විප්ලවවාදියෙකුට වලංගුද
ඒ සතුට තරමට
ආත්මාර්ථයක්
කාලකණ්නිකමක්
නිහඬව සතුටු වෙන විප්ලවවාදියෙකුට තිබිය හැකිද
කටු ගේක
මයින හමකින් තලන
අනුගාමික ස්වං වින්දකයන් දැක
පරණ රිද්මයෙන්ම
මිනිසාට කෙළවන්නට
ඉඩ දීම තරම් නපුරක්
දරාගෙන නිහඬව සතුටු වීමට
විප්වාදියෙකුට වලංගුද
මෙල්ස් මාකැස්චේ | Mels Macasche
උපුටා ගැනීම -www.vikalpa.org

ජයපාලන් විසින් 71 අරගලය අලලා ලියැවුනු ඉතා ජනප්‍රිය කවියක පරිවර්තනයකි මේ. පරිවර්තනය - නිලාර් එම් කාසිම්

71,
වසන්තය


මලින් බර විය මහා වන හිස
කොවුල් ගී නද ඇසිණ මිහිරිව
පුරුදු පරිදිම
ඇවිත් ගිය හැම වසන්තය සේ
ප්‍රමෝදය හා යලිදු පිවිසිණි
71,
වසන්තය


රාවණාගේ පාලනයේ වුව
රාමගේ පාලනයේ වුව කිම?
උදාවුණ ඒ වසන්තයේදිත්
ගමින් ගම නම් පුරුදු පරිදිම
පවුල් බලයේ බල පරාක්‍රම පැවතුණේමය.

මඩෙහි වධ විඳි මී ගොනුන්
රුදුරු ඉරණම දිනනු නොහැකියි
සිතනවා මෙනි
සියලු දේ වෙයි උපන් හැටියට
කියා එලෙසින පැරණි ගැමියෝ
යටත් වූවෝ එගැමි සිරිතට

උදා වූ ඒ වසත් දිනවල
තරුණ සමහරු
අනෙක් සොයුරන්
අවදි කෙරුවේ එක එකා මෙනි
දවල් නිදනා දනන් වෙනුවෙන්
රුදුරු දිග රෑ ගණන් නොනිදා
නැවුම් හිරු කැන් වසං කර සිටි
මහ ගිරිකුලු ඉවත් කරලන
පරම රහසද කෙඳිරුවෝමය

හිටිගමන් ඒ වසන්තය තුල
වීදී අවුරා ප්‍රලය වූ
අවි හඬින් ගැමියෝ සැලුණාහුය
දෙපස මං පෙත රුහිරු මල් විය

අඳුරු පැහැගත් හැම ගමින් ගම
තරුණ හිරු දරුවෝ
වැළලුණාහුය, අපේ මිහි මවු ගැබෙහි පතුලෙම
කොවුල් ගී මැද මඟුල් පෙරහැරක් සේ ඇවිත්
අවමඟුල් පෙරහැරක් සේ එය ගෙවී නිම විය
71,
වසන්තය

අපේ ගම් බිම් හරිම
සරුසාරයි- හැබෑමයි
කුමක් වළලා දමන ලද මුත්
පඳුරු ගසමින් යලිත් සුපිපෙයි
සත්තකින්, දලු ලා වැඩෙයි

-
ව. අයි. ස . ජයපාලන්


ආදරේ සිගන්නී...........
ස්නේහයේ දිය බිදක් නොලැබ
ඉරිතැලුන හදවතට
හදිස්සියේ ඇද වැටුණු
පොද වැස්ස විය
නුඹ මෙමට
පැයට දාහට විකිණෙනා කය
මිළට ගන්නට උන් පෝළිමේ
අහම්බෙන් මුණ ගැසුණු දෑසක්
හිරි වැටුණි මා ප්‍රේමයේ

බාප්පගෙ මිතුරන් අභියස
ගවුම ගැළවුණ දා අමාවක
කන්‍යා සිහින දියකළ
දඩ බල්ලන්ගෙ භූමිය
වැළලුවා මම ප්‍රේමය
සිහින සමගින් ආත්මය
ඒත් ඒ අරුම රාත්ත්‍රිය
ගොඩගත්ත නුඹ යළි ප්‍රේමය
අමාවක රෑ මැදියම
හදිසියේ පහළවිය පුර හද

පිසාචයින් සරන රාත්ත්‍රිය
මේ සාපලත් ගොදුරු බිම
ටාගට් කවර් කරණට
එළිවෙන්න මත්තට
තව එකෙක් ඕනෙමයි
පාළු වීදියෙ තනිවුණ නුඹව
දඩයමට ආ කාම ධේනුව මමයි
පස්සෙන්ම එනකළ
ධවළ ගිරිය ළග
නුඹ ඇහුව ප්‍රශ්නෙට
ගිණි ගත්ත මම
"
සහෝදරී කාලද? "

ධවල ගිරියෙ පරාට රසයි
අහල තිබුනට කෑවෙ අදයි
තාත්තෙක්ගෙ උණුසුම
අයියෙක්ගෙ රැකවරණය
සමගින් පෙම්වතෙකුගෙ සෙනෙහස
එකට කැටිකොට කැව්ව
පරාට කට
ලෝභ හිතුන ගිළින්නට
අපි සෙමින් ඇවිද ගිය
අයිශ්චර්යයේ මාවත් දිග
පාට නැති මගේ
සිහින බිත්ති මත
එළිවෙන තුරා
නුඹ ගෑව රතු පාට

වියළෙනා කතර බිම
රතු මලක් පීදුනා
ප්‍රේමයේ සුවදකුත්
ඉන් හොරෙන් වෑහුනා
ඇත්තටම ඔය හීන
පැළවේද මේ පොළවෙ
ඒ උනත්
නම නොදත් ප්‍රේමවන්තය
මේ මළසොහොන් සමාජෙට වඩා
ඔය හීන කොච්චරනම් ලස්සනද
මේ පාළු වීදියේ
එදා සිට මන් තවත්
නුඹෙ රුවම සොයන්නී
ආදරේ සිගන්නී
ඔව්...
මන් නුඹේ වෙසගනයි.......

(
රිවිහර පින්නදුව )
Posted by haritha